“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී .. (Photos)

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
“ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම” යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ගෝලීය තරඟකාරීත්වයෙන් යුත් සමුද්‍රීය හා අක්වෙරළ සේවා අංශයක් පෝෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි.
භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායකව පැවතීමත් ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණකි. සමුද්‍ර කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින අතර සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා ජාත්‍යන්තරයට ආරාධනා කර ඇති පසුබිමක ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සියළුම පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කරමින් ඇත.
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂක තකාෆුමි කඩොනෝ මහතා, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා , ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, කර්මාන්ත ප්‍රමුඛයින්, හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියහ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය, Colombo Dockyard,GAC Group Sri Lanka යන ආයතනවල නියෝජිතයින් සමුළුවට එක්ව සිටියහ.
ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහකරුවන් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් මෙම උත්සවයට සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.
Lanka Marine Services, Seylan Bank PLC, Lanka IOC PLC, Hayleys Advantis Limited, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම සමුළුවට අනුග්‍රාහකයින් ලෙස සහාය දැක්වීය.



