ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) පළමු සැසි වාරය .

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙහි (TPR) පළමු සැසි වාරය අද (15) දින ආරම්භ විය.

වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණි.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි.

එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු ප්‍රතිපත්ති සමාලෝචනය ද වේ.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය මා විසින් ඉදිරිපත් කළෙමි.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් ගෝලීය වෙළෙඳ හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සින්ගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම ද විශේෂත්වයකි.

වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය 2025 ඔක්තෝබර් 17 වන දින පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Similar Posts