මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට මරණ දඬුවම ලබා දීම ගැන අවධානයරටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡාවට ගනී ..

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක්වීමි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගුණු අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් විය.

මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් මෙහිදී අනාවරණය විය.

මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධනය, 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම මෙන්ම පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහන යනාදියෙහි ප්‍රගතිය මෙහිදී විමසා බැලිණි.

මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම් සිදු කිරීමද, නැවත ඇබ්බැහි වීම වැළැක්වීම, පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය, සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපායමාර්ගික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

විෂ මත්ද්‍රව්‍ය අභියෝගය ජාතික ව්‍යසනයක් සේ සලකා එය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවත්, එහිදී ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධාන ඇතුළු සියලු පුරවැසියන් වෙත පැවරී ඇති වගකීම සහ කාර්යභාරයත් මෙහිදී පෙන්වා දුන්නෙමි.

Similar Posts